මල්වත්තාවෙල මධ්‍ය මහා විද්‍යාලයේ 80 වසරක ගමන්මග
- මල්වත්තාවෙල විද්‍යාලය ආරම්භ කර ඇත්තේ 1944.09.04 දින එවකට මල්වත්තාවෙල රජමහා විහාරාධිපතිව වැඩසිටි කොස්ලන්දේ ඤාණවිමල මහා නායක හිමියන්ගේ නායකත්වය හා මැදිහත්වීමෙනි. තත් කාලීන රටේ දේශපාලනික ආගමික හා අධ්‍යාපනික තොරතුරු විමසා බැලීමේ දි අපට පැහැදිලි වන කරුණක් වනුයේ එවකට රටේ ජාතික ආගමික පුනරුදයේ පුරෝගාමීන් වන අනගාරික ධර්මපාල තුමා හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා බ්‍රහ්මචාරී වලිසිංහ හරිසචන්ද්‍ර තුමා වැනි ප්‍රභූන්ගේ ක්‍රියා කලාපය මෙම පාසල ආරම්භයට ද හේතුවක් වන්නට ඇති බවයි. මල්වත්තාවෙල රජමහා විහාරස්ථානයේ නමින් මුලින් පාසල ලියාපදිංචි කර ඇත්තේ ඒ නිසා වන්නට ඇත.
- ආරම්භයේ සිට 1946.10.23 දක්වා කාල සීමාව තුළ කොස්ලන්දේ ඤාණවිමල මහා නායක හාමුදුරුවන් විද්‍යාලයේ විදුහල්පති ධූරය දරා ඇත.
- මහා නායක හාමුදුරුවන්ගෙන් පසු පාසලේ විදුහල්පති ධූරය 1946.10.24 සිට දරා ඇත්තේ හෙන්ඩි්‍රක් ජාසිංහ ධර්මදාස මහතාය. එතෙක් මහානායක හිමියන් දරන ලද විදුහල්පති ධූරය සඳහා කෙටි කාලයකින් ගිහි පුද්ගලයෙක් පත්වීම තුළින් අපට පැහැදිලිවන කරුණක් වනුයේ ස්වෙච්ඡා පදනමකින් මේ දක්වා පවත්වාගෙන ආ පාසලට රජයේ අනුග්‍රහය ලැබුණු බවයි. මෙම රාජ්‍යය අනුග්‍රහය ලබාගැනීම සඳහා කොස්ලන්දේ ඤාණවිමල හිමියන් විශාල කැපකිරීමක් කරන්නට ඇත. හෙන්ඩි්‍රක් ජාසිංහ ධර්මදාස මහත්මාගේ පාලන කාලයේ සිදුවූ වැදගත්ම සිද්ධියක් ලෙස දැක්විය හැක්කේ මො/මල්වත්තාවෙල පාසල මල්වත්තාවෙල පන්සලේ සිට වර්තමානයේ පාසල පිහිටා ඇති භූමියට පාසල රැගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනයයි. හෙන්ඩි්‍රක් ජාසිංහ ධර්මදාස මහත්මා 1953.02.12 දින දක්වා විදුහල්පති ධූරය දරා ඇති අතර එතුමාගේ කාලයේ හෝ ඉන් පසු විදුහලේ විදුහල්පති ලෙස පත්වන එම්.සී. ඒ ඒකනායක මහත්මාගේ කාලයේ මො/මල්වත්තාවෙල පාසල මල්වත්තාවෙල පන්සල් භූමියෙන් ඉවත්කර වත්මන් පාසල පිහිටි භූමිය වෙත ගෙනවිත් ඇත.
- ආරම්භයේ දී පාසලේ ස්ථිර ගොඩනැගිල්ලක් හා විදුහල්පති නිල නිවාසයක් තිබී ඇත. අවශේෂ පන්තිකාමර අවශ්‍යතා සපුරාගෙන ඇත්තේ තාවකාලික ගොඩනැගිලි මගිනි. තාවකාලික ගොඩනැගිලිවල වහලය ඉලුක් සෙවිලි කර තිබී ඇත.1974.03.21 න් පසු පාසලෙහි විදුහල්පතිවරයා වන්නේ කොස්ලන්දේ ඤාණාාලෝක නාහිමියන් ය. මෙතෙක් පාසල පාලනය කළ විදුහල්පතිවරුන් අතරින් ඩේවිඩ් ලියනගේ මහත්මාගේ කාලයේ 1966 මො/මල්වත්තාවෙල පාසල මහා විද්‍යාලයක් බවට පත්විය. ඉන්පසු මල්වත්තාවෙල මහා විද්‍යාලය 1979.07.03 වන දින මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත්විය.
- තවද 1993.03.08 වන දින විද්‍යාලයට පරිගණක යන්ත්‍රයක් ලැබීමත් 1993.10.20 වන දින සිට විද්‍යාලය ජාතික පාසලක් බවට පත්වීම විද්‍යාලයේ සම්පූර්ණ දිශානතිය වෙනස් කිරීමට සමත් විය.
- 2010 වර්ෂයේ පාසලේ ද්වි මාධ්‍යය පන්ති ආරම්භ වීමත් සමග ප්‍රදේශයේ දරුවන්ට මවු භාෂාවට අමතරව ඉංග්‍රිසි මාධ්‍යයෙන් ද අධ්‍යාපනය ලැබීමට හැකියාවක් ලැබුනි.
පාසල් ඉතිහාසයේ සුවිශේෂී ම සිදුවීම්
| 1944.09.04 | - | මල්වත්තාවෙල රජමහා විහාරයේ දී කොස්ලන්දේ ඤාණවිමල මහානායක ස්වාමින් වහන්සේගේ නායකත්වයෙන් මල්වත්තාවෙල පාසල ආරම්භ විය. |
| 1954 | - | වර්තමානයේ පාසල පිහිටා ඇති ස්ථානයෙහි පාසල ස්ථාපිත වන ලදි |
| 1966 | - | විදුහල්පති ඩී.ඩී. ලියනගේ මැතිතුමාගේ කාලයේ පාසල මහා විද්‍යාලයක් බවට පත්විය. |
| 1973 | - | විදුහලේ අනන්‍යතාවය පිළිබිඹු කරමින් එවකට පාසලේ සංගීත ආවාර්යවරයා ලෙස කටයුතු කළ රෝහණ බැද්දගේ මහතා විසින් විද්‍යාලයීය ගීතය නිර්මාණය කරන ලදි. |
| 1979.07.27 | - | මල්වත්තාවෙල මහා විද්‍යාලය 1979.07.27. දින සිට මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත්වන ලදි |
| 1993.11.03 | - | මො/මල්වත්තාවෙල මධ්‍ය මහා විද්‍යාලය 1993.10.20. දින සිට ජාතික පාසලක් බවට පත්විය. |
| 2006.05.28 | - | නව ශ්‍රවනාගාරය සඳහා මුල්ගල තබන ලදි. |
| 2010 | - | ඉංග්‍රිසි මාධ්‍යය පන්ති ආරම්භ කරන ලදි. |
| 2012.10.01 | - | මහින්ද්‍යෝදය දෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තබා 2014.09.04. දින විවෘත කරන ලදි. |
| 2013.10.06 | - | ආදි ශිෂ්‍ය සංගම් ගොඩනැගිල්ලට මුල්ගල තබන ලදි. |
| 2013.10.31 | - | තාක්‍ෂණ විෂය ධාරාව පාසලේ ආරම්භ කරන ලදි. |
| 2014.06.11 | - | මහින්දෝදය තාක්ෂණික විද්‍යා පීඨය සඳහා මුල්ගල තබන ලදි. |
| 2017.10.02 | - | 13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීය විෂය ධාරාව සඳහා සිසුන් බඳවා ගන්නා ලදි. |







